Our History

පස් වසරක මතක සටහන්

සමාජය යනු විවිධාකාර පුද්ගලයන්ගෙන් සැදුම්ලත් එකතුවකි. ඔවුන්ගේ සිතුම් පැතුම් හා ක්‍රියාකාරීත්වයන් තුල සංකීර්ණ ලක්ෂණ දකින්නට ලැබීම ස්වාභාවික හා බලාපොරොත්තු විය යුතු කාරණයකි.
එහෙත් එබඳු සමාජයක් සදාචාරාත්මක වූ සංවිධිත ක්‍රියාදාමයක් තුලින් සංවරශීලි ප්‍රශාන්ත මෙන්ම පැහැදිලි අර්මුණක් කරා ගමන් කරන අධිෂ්ඨානශීලි පිරිසකගෙන් හෙබි පරමාදර්ශී සමාජයක් බවට පත්කිරීමට එදා වර්ෂ 2013 ක්වූ ඔක්තෝම්බර් මස 15 වැනි දින වර්තමාන සභාපති තුෂාර ගාල්ලගේ මහතා සමඟ අත්වැල් බැඳගත් සමාන අදහස් දරණ හතලිස් දෙදෙනෙකු (42) සමඟ මෙම සංගමයට ප්‍රථම අඩිතාලම වැටුනි.
2013 වසරේදී පුංචි මේසයක් මත බුදුපිළිමවහන්සේ නමක් තැන්පත් කර ආරම්භකළ ශ්‍රී ලාංකික සුභසාධක සංගමය හා ශ්‍රී සදහම් විමුක්ති සෙවණ නම්වූ සදහම් මන්දිරය අද වන විට බහරේන් රාජ්‍යය තුළ ප්‍රධාන ප්‍රජා සේවා මධ්‍යස්ථානයක් බවට පත්වී ඇත.

“බුදුදහම වනාහි මානසික සුන්දරත්වය ශාක්සාත් කරගත හැකි මඟ පැහැදිලි කරන ප්‍රායෝගික ධර්ම මාර්ගයකි.”

අප සංගමය තුලින් මරණයකදී, උපන්දිනයකදී, අසනීපයකදී, වෙනත් කරදරයකදී සහ නොයෙකුත් අවශ්‍යතා වලදි පිහිට සරණ ලබාගැනීම සඳහා අංග සම්පූර්ණ බෞද්ධ මන්දිරයක් මෙන්ම අවශ්‍ය කරණ ධාර්මික වැඩසටහන් සැමගේ හිතසුව පිණිස පෙළගස්වා ඇත.
ශ්‍රී ලංකාවෙන් බොහෝ දුරක සිටින අපට දානයක්, පූජාවක් සහ සිල්වත්වීම හරියට කරගැනීමට අවශ්‍ය වටාපිටාව මෙන්ම නිසි ආකාර වැඩ පිළිවළක් අප දියත්කරන බව සතුටින් දන්වමු. මෙම වසර පහ තුල බහරේන් රාජ්‍යයේ ශ්‍රී ලාංකික ප්‍රජාවට ඉතාමත් මහඟු පිටු වහලක්වූ බව අපට ප්‍රකාශ කළ හැක.
මිනිස් ජීවිතයේ ඇති මානව වටිනාකම අප බුද්ධිමත්ව තේරුම් ගැනීමටත්, ඵලදායි ලෙස අර්ථවත් කරගැනීමටත් මඟ පාදාදී ඇත.
එමෙන්ම මිනිසාගේ උපත මුල්කරගෙන උස්-පහත් බවක් නොමැතිව වර්ගවාදීත්වයන් ඇති නොකර සමාජයේ සැමට පොදු සමාජ සත්කාර රාශියක් මෙම පස් වසර තුල අප ඔබට දායාදකර ඇත.

  • සෑම ආගමකටම අදාල පූජකවරුන් ගෙන්වා දේශණා සහ අනුශාසනා මෙන්ම විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • මහා පරිමාණ දන්සැල් පිරිනැමීම.
  • සෑම වසරකම නව වසර උදාවට සර්වරාත්‍රික පිරිත් සජ්ජායනය කර රටට, ජාතියට හා සැමට භාග්‍යය උදාකිරීම.
  • අංග සම්පූර්ණ පුස්තකාලයක් ගොඩනැංවීම.
  • සිංහල භාෂාව හා බෞද්ධ ධර්මය වෙනුවෙන් කුඩාදරුවන්ට් පංති ආරම්භ කර පවත්වාගෙන යාම.
  • සර්ව ආගමික උත්සව අතර රාමසාන් උපවාසය, දීපවාලි උත්සවය, නත්තල් උත්සවය හරසරින් පැවැත්වීම.
  • අපගේ ජාතික අභිමානය හා සංස්කෘතිය ඔප්නැංවීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • දේශීය කලාව විදහා දක්වන සංගීතමය, උඩරට හා පහතරට ජනකලාව ඔප්නංවන නැටුම් හා නාට්‍යය වැඩමුළු හා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • වාර්ෂිකව පවත්වන “Sri Lankan Got Talent” නමින් වැඩිහිටියන්ගේ හා දූ දරුවන්ගේ දක්ෂතා ලොව හමුවේ විදහා පෙන්වීම.
  • ශ්‍රී ලාංකිකයන්ගේ ක්‍රීඩා කෞෂල්‍යය නඟා සිටුවීමට විශේෂ ක්‍රීඩා වැඩ්මුළු හා තරඟ පැවැත්වීම.
එමෙන්ම බහරේන් රාජ්‍යයට එහා ගිය අපගේ සමාජ සත්කාරයන් අතර,
  • අපගේ සාමාජික සාමාජිකාවන්ගේ පවුල්වල ආදරණීයන් මියගිය විට ඔවුන්ට ආධාර උපකාර කිරීම.
  • ශ්‍රී ලංකාවේ සිටින ආබාධිත දරුවන් වෙනුවෙන් ආධාර උපකාර කිරීම.
  • පූජනීය ස්ථාන නඟා සිටුවීමට උදව් උපකාර කිරීම.
  • තෝරාගත් දුප්පත් පාසැල් සඳහා උදව් උපකාර කිරීම.
  • විශේෂ දානමය පිංකම් අතරින් අභයදානය මුල්කරගෙන ගවයන් නිදහස් කිරීම.
  • අපගේ සාමාජික පවුල්වල අයගේ ශල්‍යකර්මයන් සහ වෙනත් රෝගාබාධ වලදී ආධාර උපකාර කිරීම.

ශ්‍රී ලාංකික සුභසාධක සංගමය එදා පුංචි පැලයක් ලෙසින් රෝපණය වී අද වන විට අතුපතර විහිදෙමින් සාරවත්ව වැඩෙමින් තිබෙන ගසක් බවට පත්වෙමින් ශ්‍රී ලාංකික ප්‍රජාවට මහා සෙවණක් වෙමින් තිබෙන බව ගෞරවයෙන් සිහිපත් කරන්නෙමු.
අපගේ තේමාව වන සුනාථ, දරේථ, චරාථ නම්වූ අසව්, දරව්, හැසිරෙව් යන ආදර්ශමත් ශීර්ෂපාඨ පෙරදැරිව තව තවත් බහරේන්හී ශ්‍රී ලාංකික ප්‍රජාවට සේවය කිරීමට හැකිවේවායැයි අප සැමගේ ප්‍රාර්ථනාවයි.

අප සංගමයට මේ වසර පහතුල සහයෝගය දුන් විශේෂයෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ගරු තානාපතිතුමා ඇතුළු කාර්යය මණ්ඩලයටත්, මේ ස්ථානය නඟා සිටුවීමට උදව් උපකාර කළ සියළුම සාමාජික සාමාජිකාවන්ට සහ දායක සභාවේ සියළු දෙනාටත් සඳහන්වූ නොවූ හා දැක සතුටු වූ සියළු දෙනාට අපගේ ගෞරවණීය උත්තමාචාරය පුද කරමු.

ඔබ සැමට සුභ අනාගතයක් – තෙරුවන් සරණයි!

ශ්‍රී ලාංකික සුභසාධක සංගමය හා ශ්‍රී සදහම් විමුක්ති සෙවණ
බාර්බාර් – බහරේන්
වර්ෂ 2018 ක්වූ දෙසැම්බර් මස 15 වන දිනදී

0
පොහෝ දින වැඩසටහන්
0
බෝධි පූජා පිංකම්
0
සාමාජික සාමාජිකාවන්